www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (1) සර්වබලය.

සර්වබලධාරි දෙවියන්වහන්සේ.

“සර්වබළධාරී” යන වචනයෙන් අර්ථවත් වන්නේ, සියළු බලයෙන් සපිරි යන අදහසයි. සියලු බලය ඇති යන තේරුම එහි ගැබ්ව තිබෙයි. ඒ අනුව එම වචනය අදාල කරගනිමින් විස්තර වන්නේ; බලය පැත්තෙන් බලද්දී දෙවියන්වහන්සේ “සියළු බලයෙන් සපිරි” අයෙකු බවත් පෙන්වාදීමයි.

දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ මේ විශේෂ ස්වභාවයට සීමාවක් නොමැති බවට සාක්ෂි සපයන්නේ දෙවියන්වහන්සේමයි. මිනිසුන් වන අපිත් දෙවියන් යනු සර්වබලයෙන් යුක්තවූ අයෙකු ලෙසින් පිළිගනු ලබන්නේද, මේ මුළු විශ්වයේ අපි දකිනා සියල්ලේම මැවුම්කාරයාණන් උන්වහන්සේ බව උන්වහන්සේම එළිදරව් කරදීමේ හේතුව උඩයි.

දෙවියන්වහන්සේගේ ඒ විශේෂ ස්වභාවය ගැන උන්වහන්සේ ගෙන්ම ලද ඒ එලිදරව්වට අමතරව දෙවියන්වහන්සේ විසින් මිනිසුන් මාධ්‍යයේ (යුදෙව් පාරම්පරික පියවරුන්) කල අපුර්ව ක්‍රියා අත්දැකීමට හැකිවීමේ හේතුවද ඔවුන් මාධ්‍යයේ ක්‍රියා කල ඒ දෙවියන් “සර්වබලයෙන් පිරි අයෙකු” ලෙසින් නම් කිරීමට හේතුවෙයි.

"ඔබගේ ස්වකීය ඇඟිලිවල වැඩයවූ අහස් තලයත්, ඔබ පිහිටවූ සඳ මඬල සහ තාරකා ගැනත් බලා කල්පණා කරණ කළ; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? -ගීතාවලිය 8: 3-4

"වැඩි මහල්ලන් විසිහතර දෙනා සිංහාසනයේ වැඩසිටින තැනැන්වහන්සේ ඉදිරියේ වැටි, සදාකල්හිම ජිවත් වන්නාවූ තැනැන්වහන්සේට නමස්කාර කර, තමුන්ගේ ඔටුණු සිංහාසනය ඉදිරියේ හෙලා; අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රසංශාවත් ගෞරවයත් බලයත් ලබන්නට වටිනාවූ උතුම්වූ තැනැන්වහන්සේය. මක්නිසාද ඔබගේ බලයෙන් ඔබ සියළු දේ මැවුසේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා සැදුනේය, ඒවා මවන ලද්දේය”. -එළිදරව් 4:10- 11

දෙවියන්වහන්සේ යනු සියලු බලයෙන් පරිපූර්ණවූ අයෙක් යන ඒ පිළිගැනීම ගැන ඇති අවබෝධය බොහෝවිට එදා මෙන්ම මේ අදටත් එකසේ පැවතුනත්, දෙවියන්වහන්සේගේ ඒ සර්වබලය මෙළොව ජිවත්වන අප කෙරෙහි බලපාන ආකාරය මෙන්ම එය අප මාධ්‍යයේ ක්‍රියාවට නැගෙන ආකාරය ගැනත් වර්තමාන ජනසමාජය දරණ ආකල්පයන් විවිධාකාරයෙන් යුක්ත ඒවා වෙයි.

මේ හේතුව උඩ දෙවියන් සතු උන්වහන්සේගේ ඒ සර්වබලය තුලින් මොලොව ජිවත්වන අපගේ පුද්ගලික කැමැත්ත කරගැනීමට දරන උත්සාහයද බොහෝ සෙයින් දැකිය හැකියි. එබැවින් දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ මේ “සර්වල බලය” අප මාධ්‍යයයේ ක්‍රියාවට නැගෙන්නේ කෙසේද? කියා තේරුම් ගැනීමේ අවශ්‍යයතාවයත් පැන නගියි.

දෙවියන්වහන්සේගේ “ස්වභාවයන්” ගැන තේරුම් ගැනීමට යාමේදී ඒ දෙස දෙවියන්වහන්සේගේම කෝණයෙන් (ආත්මිකව) බැලීමට අවශ්‍යය වන්නේ, උන්වහන්සේ ආත්මීක අයෙකු වීමේ හේතුවයි. එබැවින් ආත්මික දෙවියන් වටහා ගැනීමට යද්දී අප උන්වහන්සේ දෙස අපගේ කෝණය වූ මනුෂ්‍යාකාරයෙන් නොබලා, ඒ වෙනුවට ඒ ගැන ආත්මිකව විමසා බැලීමට සිදුවන්නේ, ආත්මික අයෙකු ලෙසින් පමණක් පෙනීසිටින ඒ ආත්මික දෙවියන්ගේ "ආත්මික පැත්ත" වටහාගනු පිණිසයි.

මේ උවමනාව තේරුම් ගැනීමට සුදුසු උදාහරණයක් මෙසේ දැක්විය හැකියි.

දෙවියන් සතු උන්වහන්සේගේ “සර්වබලය” දෙස අපි අපගේම කෝණය වූ මනුෂ්‍යයාකාරයෙන් බලනවිට ඇතිවන වෙනස්කම වන්නේ; දෙවියන් සතු උන්වහන්සේගේ ඒ “සර්වබලය” අප උන්වහන්සේගේ “පරමබලය” ලෙසින් තේරුම් ගෙන ක්‍රියා කිරිමට පෙළඹීමයි. මෙහිදී “පරමබලය” යන ඒ වචනය යොදාගැනීම තුලින් මා පෙන්නාදීමට උත්සාහ කරන්නේ ; "බලය" යනු "දෙවියන්" හැටියටත්, "දෙවියන්" යනු "බලය" හැටියටත් වටහාගෙන අප කරන ක්‍රියාවන් ගැනයි.

දෙවියන් සතු උන්වහන්සේගේ “සර්වබලය” ගැන එවැනි වැරදි අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේදී සිදුවන්නේ, දෙවියන්වහන්සේගේ බලය ගැන පමණක් නොව නුමුත් එවැනි බලයක් සතු දෙවියන් ගැන පවා එවිට වැරදි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමටත් මඟ පාදා ගැනීමයි.

"බලය" යනු දෙවියන් හැටියටත් "දෙවියන්" යනු බලය හැටියටත් යන මේ වැරදි අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීමේ පුරුද්ද තේරුම් කරගැනීමට සුදුසු තවත් උදාහරණයක් ලෙසින් අප රටේ දේශපාලන සංස්කෘතියත් ගතහැකියි. දෙවියන් සතු සර්වබලය සහ මිනිසුන් සතු පරමබලය අතර ඇති වෙනස එය පැහැදිළි කරපෙන්වයි.

වර්තමාන දේශපාලන ලෝකය දිහා බලනවිට අපි දකින්නේ, "දේශපාලකයා" යනු බලය හැටියටයි. එසේම "බලය" යනු බොහෝවිට දේශපාලකයන් බවත් අපි හඳුනයි. එබැවින් බොහෝදුරට මිනිසුන් දේශපාලකයන් සොයා එන්නෙත්, ඔවුන් සතුටු කරන්නෙත්, ඔවුන් වටා පෙළ ගැසෙන්නෙත්, අනෙක් සියලු බලවේග පවා ඔවුන් සතු ඔවුන්ගේ මේ "පරමබලයට" යටත්වන නිසා, ඒ තුලින් තමන්ට යමක් කරගනු පිණිසයි.

“බලය” දේශපාලකයන් සතු බැවිනුත්, දේශපාලකයා යනු බොහෝවිට “බලය” වන බැවිනුත්, දේශපාළකයා සතු ඒ “පරමබලය” උපයෝගිකර ගනිමින් අපිට ඕනෑම දෙයක් ඕනෑම වේලාවක ඕනෑම විදියකින් කරගත හැකියි යන ඒ අවබෝධයෙන් යුතුව මිනිසුන් ඒ පසුපස හඹා යාමට පුරුදුවී සිටිනවා වාගේම, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේ සතු ඒ සර්වබලය ගැනත් එවැනි අවබෝධයකින් යුතුව කටයුතු කරණුද පෙනෙයි.

මිනිසුන් හැටියට අපි දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ ඒ සර්වබලය ගැනත් එසේ සිතමින්, ඒ අවබෝධයෙන් යුතුව අප ඒ දෙස බැලීමේදී සිදුවන්නේ, දෙවියන් සතු උන්වහන්සේගේ සර්වබලයත් දේශපාලකයන් සතු ඔවුන්ගේ පරම බලය මෙන් අප ඉදිරියේ දිස්වීමයි.

මේ හේතුව දෙවියන්වහන්සේගේ සර්වබලයද අප එකිනෙකාගේ පුද්ගලික උවමනාවන් සපුරා ගැනීම වෙනුවෙන් පොළොඹවා ගත හැකි මාර්ගයක් යන ඒ වැරදි අවබෝධය අප ඉදිරියේ මවාපායි. දෙවියන්ගේ ඒ සර්වබලය තුලින් අපගේ සිහිනයන් සැබෑ කරදීමට හැකි අතරමැදියන් සොයා මිනිසුන් දේවස්ථාන සොයා එන්නේද ඒ වැරදි අවබෝධය නිසායි.

සර්වබලය ගැන ඇති මේ වැරදි වටහාගැනීමට මුල්වන්නේ අපි ආත්මික දෙවියන් දෙස අපගේම කෝණය වූ මනුෂ්‍යාකාරයෙන් බැලීමට පුරුදුවී සිටීමයි. මිනිසුන් හැටියට අපි ආත්මික දෙවියන්වහන්සේ දෙසත් මනුෂ්‍යාකාරයෙන් / අපගේම කෝණයෙන් බලනා විට සිදුවන්නේ, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සර්වබලයත් අපි ඉදිරියේ දේශපාලකයන් සහ ඔවුන් සතු ඔවුන්ගේ ඒ පරමබලය මෙන් තේරුම් ගැනීමට පැමිණීමයි.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>> අපටත් නොදැණුවම අපෙන් ගිලිහි ගොස් ඇති මේ යථාර්තය අප දෙවියන් ඉදිරියේ කරනා යාඥාවන්, පුදපුජා සහ බාරහාරවීම් තුලින් පවා පැහැදිළිව දැකිය හැකිවන නුමුත් එය වැරද්දක් යැයි අපට නොහැඟෙන්නේත්, ඒ වැරැද්ද අපට නොපෙනෙන්නේත්, ඒ පුරුද්ද ඒතරම් දුරට ක්‍රිස්තියානි සමාජය තුළ සාමාන්‍යය දෙයක් බවට පත්ව තිබීමේ හේතුව උඩයි.

වර්තමාන ක්‍රිස්තියානි සමාජය තුළ සිදුවන පුද්ගලික යාඥාවන් පවා "දෙවියන්ගෙන් ඉල්ලා සිටීම සහ ලබාගැනීම" වෙනුවෙන් පමණක් සීමාවී සිදුවෙන පුරුද්දක් බවට පත්ව තිබෙන්නේත්, දෙවියන්වහන්සේගේ සර්වබලය ගැන අප සතු එවැනි වැරදි වැටහීම් හේතු කරගෙනයි.

එබැවින් දෙවියන් සතු උන්වහන්සේගේ ඒ සර්වබලය උපකාරයෙන් කෙසේ හෝ අපගේ පුද්ගලික ඉල්ලීම් වලට පිළිතුරු ලබාදිය හැකිනම්, ඒ වෙනුවෙන් අතරමැදියන් සෙ පෙනීසිටින දේවගැතිවරයන්ට පමණක් නොව නුමුත් දෙවියන්ට පවා මුදලින් ආධාර කිරීමට පොරොන්දුවී සමහරුන් කටයුතු කරන්නේද, දෙවියන් සතු උන්වහන්සේගේ ඒ සර්වබලයත් අපට දේශපාලකයන් සතු ඔවුන්ගේ ඒ පරමබලය මෙන් නම්මාගත හැකියි යන ඒ වැරදි අවබෝධය ඇතුවයි.

දෙවියන්වහන්සේ සියළු බලයෙන් පරිපුර්ණ වුවත්, උන්වහන්සේගේ "සර්වබලය" මොලොව ක්‍රියාවට නැගෙන්නේ අපගේ කැමැත්තට අනුව නොව නුමුත් උන්වහන්සේගේම “සැළැස්මට” සහ “කැමැත්තට ” අනුව පමණක් බව ඒ ගැන දෙවියන්වහන්සේම කියා සිටියි. එබැවින් දෙවියන්වහන්සේ කරණකොටගෙන සිදුවන ඕනෑම දෙයක් අප අතර සිදුවන්නේද දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ කරුණාව මත ක්‍රියාවට නැගෙන උන්වහන්සේගේ “කැමැත්ත සහ සැළැස්ම” යන ඒ රාමුව තුලින් පමණක් බවත් අප මෙහිදී පළමුවෙන්ම ඒ ගැන තේරුම් ගතයුතුයි.

“මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේ යැයි ස්වාමින්වහන්සේම කියනසේක. දුෂ්ඨයා තමාගේ මාර්ගයද, අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අතහැර, ස්වාමින්වහන්සේ වෙතට හැරී ඒවා. ස්වාමින්වහන්සේ සම්භවෙන්නට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ලංව සිටිද්දී උන්වහන්සේට යාඥා කරන්න.” -යෙසාට 55: 6 -9

“නුඹලාගේ මාර්ග මාගේ මාර්ග නොවෙයි” මෙන්ම “නුඹලාගේ අදහස්ද මාගේ අදහස් නොවෙයි” යනුවෙන් ඒ ගැනත් උන්වහන්සේම අපට කියා සිටින්නේ, උන්වහන්සේ මෙලොව ක්‍රියාකරන ආකාරය අපට තේරුම් කරදීමටයි. එය පෙන්වාදෙන්නේත්, දෙවියන් සතු උන්වහන්සේගේ සර්වබලය අපේ කැමැත්තට නම්මාගත හැකි එකක් නොවෙන බවයි. ඒ වාගේම උන්වහන්සේද, තම ස්වකීය කැමැත්තෙන් සහ සැළැස්මෙන් බැහැරව කිසිවිටෙකත් ක්‍රියා නොකරන බවත් එය කියා සිටියි.

දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙසින් පෙනීසිටිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා පියාණන් වහන්සේට කීකරුව සැමවිටම උන්වහන්සේගේ “කැමැත්ත සහ සැළැස්මට” අනුව පමණක් ක්‍රියා කළ බවට ශුභාරංචි පොත් සාක්ෂි දරයි. එබැවින් ඒ ගැන දෙවියන්වහන්සේට යම්කිසි ආකාරයක බලපෑමක් කිරීමේ හැකියාව අපට නොමැත්තේ, දෙවියන්වහන්සේ සර්වබලධාරී දෙවියන්වහන්සේ වන හේතුවත්, එසේම මනුෂ්‍යන් වන අප ඒ දෙවියන්වහන්සේට අකීකරුවීම හේතුවෙන් පාපයේ දඬුවමට යටත්ව, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් වෙන්කරණු ලැබ සිටින පව්කාරයන්ද (උන්වහන්සේගේ මැවිල්ල) වන හේතුවයි.

පව්කාරවූ මිනිසුන් වන අපට දෙවියන්වහන්සේ ඉදිරියට යෑමට හැකිවන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් උන්වහන්සේම අපට විවරකරදුන් ගැලවීමේ මාර්ගය හේතුකරගෙනයි. අප වෙනුවෙන් උන්වහන්සේ දක්වන උන්වහන්සේගේම කරුණාව, ප්‍රේමය, සහ අනුග්‍රහය පමණක් එයට හේතුවෙයි. එයින් අදහස් කෙරෙන්නේත්, දෙවියන්වහන්සේ කරණකොටගෙන යම් කිසි හාස්කමක් අප තුල සිදුවන්නේ නම්, එය පවා සිදුවන්නේ අප කෙරෙහි ඇති උන්වහන්සේගේම කරුණාව සහ ප්‍රේමයේ අනුහස මුල්කරගෙන මිසක් අප තුල ඇති කිසි සුදුසු කමක් නිසා හෝ අප පුජාකරන පඬුරු හෝ බාරහාර වල වටිනාකම හෝ නිසා නොවෙන ඒ යථාර්තයයි.

දෙවියන් කෙරෙන් පැමිණෙන සියලු ආශිර්වාදයන් අප වෙත පැමිණෙන්නේ දේව වචනය ගැන අප සතු දැනුම අවබෝධය නිසා නොව නුමුත් දේව වචනය කෙරෙහි අප දක්වන අවංක කීකරුකම මතයි. එසේම ඒ දේව වචනය අප තුළ ජීවමාන වචන බවට පෙරළෙන්නේද ඒවාට කීකරුවීම තුලින් උන්වහන්සේගේ ආත්මයට අපගේ හදවත් තුළ ක්‍රියා කිරීමට අප ඉඩසලසා දෙන විටයි. මේ සිධාන්ත දෙක අපව ආත්මයෙන් දෙවියන්වහන්සේගේ ආත්මයට සම්බන්ධ කරන අතර දෙවියන් සමග අප ආත්මිකව ගොඩනගා ගෙන යන ඒ සම්බන්ධයේ අවසාන ප්‍රතිඵලය දෙවියන්වහන්සේගේ කරුණාව ලඟා කරගැනීමට මඟපාදන බව දේව වචනය පෙන්වාදෙයි.

මිනිසුන්වන අප මාධ්‍යයේ දෙවියන්වහන්සේගේ බලය ක්‍රියාවට නැගෙනා පිළිවෙළ ගැන කතා කිරීමේදී ඒ ගැන තවත් එක වැදගත් කාරණයක්ද නිවැරදිව වටහාගෙන සිටීමත් වැදගත් වන බැවින් ඒ ගැනත් සඳහන් කර සිටින්නේ දෙවියන්වහන්සේගේ බලය ඇදහිලිවන්තයන් වන අප අතර ක්‍රියාවට නැගෙන ආකාරයත් තේරුම් ගන්නා පිණිසයි.

දෙවියන්වහන්සේගේ බලය පොළොඹවා ගැනීමේ හැකියාව අප සතු නොවුනත්, පව්කාර මිනිසුන් වන අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අවංකව කිකරුවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත අප එකිනෙකාගේ ජිවිත තුල සිදුවීමට ඉඩහැර දෙනවිට දී, දෙවියන්වහන්සේගේ කැමැත්ත අප තුළින්ද මොළොව ඉටුවන පිණිස දෙවියන්වහන්සේගේ ඒ අපුර්ව බලයත් ඇදහිලිවන්තයන් වන අප එකිනෙකා තුළින්ද ක්‍රියාවට නැගිය හැකි බවට දුන් පොරොන්දුවයි. සාමාන්‍යය මිනිසුන් මෙන් ජීවත්වූ උන්වහන්සේගේ සියලු ගෝලයන් යේසුස් වහන්ස්ගේ ඒ පොරොන්දුවෙන් පසුව දෙවියන්වහන්සේගේ බලය මෙළොව විහිදුවන්නාවූ අපුර්ව සාක්ෂිකාරයන් වූ හැටි ක්‍රියා පතෙන් පටන්ගෙන අලුත් ගිවිසුම පුරාම සටහන් වෙයි.

එයින් අදහස් කෙරෙන්නේ අපි යේසුස් වහන්සේගේ පණිවිඩය පිළිගෙන උන්වහන්සේගේ වචනයට කීකරුව, දෙවියන්වහන්සේගේ ආත්මය අප තුල ජීවත්වන පිණිස උන්වහන්සේට කීකරුවන විටදී, දෙවියන්වහන්සේ සතු ඒ විශේෂ බලය ඇදහිලිවන්තයන් වන අප තුලින්ද මොලොව ක්‍රියාවට නැගිය හැකියි යන අර්ථයයි.

“සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි; මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය. මා පියාණන් වහන්සේ ලඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. ” -යොහාන් 14:12

යේසුස් වහන්සේ මෙහිදී කියා සිටින්නේ පුදුම ක්‍රියා ගැනයි. පුදුම ක්‍රියා පිටුපසින් ඇත්තේ දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ බලයි. පියවූ දෙවියන්වහන්සේගේ නාමය මහිමයට පැමිණෙන පිණිස අප කරන්නාවූ සියලු ඉල්ලීම් උන්වහන්සේ ඉෂ්ඨකරන පොරොන්දුව එහි පැහැදිලිව සඳහන් වුවත්, අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ නාමය මහිමයට පැමිණෙන ආකාරයේ ඒවා වියයුතු බවත් මෙහිදී අප අමතක නොකළ යුතුයි.

“අත්ත මිදි වැලට සම්බන්ධ නොවී තනිව ඵල දරන්නට බරුවාක් මෙන්, නුඹලාත් මා තුලෙහි නොපවතීයි නම්, තනිව ඵල දරන්නට නුඹලාට බැරිය. යමෙක් මා තුලෙහි පවතින්නේද, මම ඔහු තුලෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මා තුලෙහි පවතින්න. එවිට මමත් නුඹලා තුල පවතින්නෙමි. මා නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා නම්, නුඹලා මාගේ මිත්‍රයෝය. මාගේ පියාණන්වහන්සේ ගෙන් මා ඇසු සියල්ල නුඹලාට දැන්වූ බැවින් දැන් නුඹලා මිත්‍රයෝ යැයි කියමි. එසේ කලේ නුඹලා ගොස් ඵල දරන පිණිසත්, නුඹලාගේ ඵල පවතින පිණිසත්, මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. සැබෑවක් නුඹලාට කියමි; පියාණන් වහන්සේ ගෙන් නුඹලා යමක් ඉල්ලුවොත් උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙන සේක.”
-යොහාන් 15-17

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /copy right ©2016- darmadasa.org)

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.